Friday, September 6, 2013

චීන මුතුමාලය සහ නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය

චීන සබ්මැරීන ඉන්දයින් සාගරයේ 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව සොයාබැලීමට  2013 අගෝස්තු 25 වැනි දින ලංකාවට පැමිණියාය.ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවුනා යැයි කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට උවමනාබව බැලූ බැල්මට පෙනුනද සැබෑ අවශ්‍යතාවය එයම නොවේ.මානව හිමිකම් චෝදනා එල්ල කර ශ්‍රී ලංකා ආණ්ඩුව හිර කරමින් ඔවුන් උත්සාහ කරන්නේ ඊට වඩා වැඩි අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමටය.

චීන ව්‍යාප්තිය අද වනවිට මුලු ලෝකයටම ගැටලුවක් වී ඇති බව කිව යුතුය.කම්කරු අයිතීන්,මානව හිමිකම් ආදීන් තුට්ටු දෙකට දමා ලාභදායි භාණ්ඩ නිෂ්පාදනය කර අනෙකුත් රටවල කර්මාන්ත අනතුරේ දමා ඉලක්කම් වලින් ආර්ථිකමය වශයෙන් අනෙකුත් රටවල අභිබවා ඉදිරියට එමින් සිටින චීනය අනෙකුත් රටවලට එම රටවල ස්වෛයිරීත්වයට අහිතකර බලපෑම් එල්ල කරමින් සිටී.

චීනයේ සිට සූඩාන වරාය දක්වා දිවෙන චීන මුතු මාලය (The String of Pearls) ලෙසින් හැඳින්වෙන ඔවුන්ගේ නාවුක ව්‍යප්ති මාර්ගය වටා ඇති රටවල් චීනය විසින් සූරාකෑමේ අවධානමක් ඇති බව කිවයුතුය.දැනටමත් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති නාවුකමය වැදගත් වරායන්ගේ බලය ඔවුන් විසින් තහවුරු කරගෙන ඇත.ඒ ආශ්‍රිතව පිහිටා ඇති රාජ්‍යයන් පාලනය කරන පාලකයන් විවිධාකාරී වූ ක්‍රම මගින් ඔවුනට උවමනාලෙස නම්මවාගෙන චීනය ගෙනයන මෙම ව්‍යාප්තියට ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ලෙස කලාපීය බලවතාවූ ඉන්දියාව විවිධාකාරීවු ක්‍රියාමාර්ග ගෙනයමින් සිටී.

චීන මුතුමාලය
ඉන්දියාව මින්පෙර චීනය සමඟ දේශසීමා වශයෙන් ගැටලු ඇතිකරගෙන තිබුනි.එහෙත් අද වනවිට චීනය ඉන්දියාව සමඟ ගැටුම් ඇතිකරගෙන තිබෙන සිටින පාකිස්ථානය සමඟ එක්වී ඉන්දියාව ඉන්දියන් සාගරය දෙසින් පැමිණ වටකරමින් සිටී.අතීතයේ ඉන්දියාව සමඟ මිත්‍ර රාජ්‍යයක් ලෙස සිටි ශ්‍රී ලංකාවේ පාලකයන්ද චීනයේ කොමිස් මුදල්වලට යටවී සිටියි. ඉන්දියාවට එල්ලවී ඇති මෙම බලපෑම ඇමරිකාවටද යුරෝපයටද බලපෑම් ඇති කරන බවද කිවයුතුය එනම් ඉන්දියාව චීනයේ ග්‍රහණයට ලක්වුවහොත් චීනයේ ඊළඟ ඉලක්කය වන්නේ ඇමරිකාව සහ යුරෝපයයි.

නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවට පැමිනෙන්නේ මෙවැනි පසුබිමක් තුළය.චීනය විසින් සල්ලි වලට නම්මවාගෙන සිටින මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා චීන ව්‍යාප්තිය නැවැත්වීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇමරිකාව මෙන්ම ඉන්දියාවද කටයුතු කරමින් සිටියි.ඒ සඳහා මිලියන 100ක පමණ දෙමළ ඩයස්පෝරාවේත් ඉන්දියාවේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් බලපෑම ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහි ලෙස යොමු වෙමින් පවතී.

ආත්මාර්ථකාමී ඒකාධිපති දූෂිත පාලකයන් නිසා රටවල් අවුලෙන් අවුලට පත්කරයි.රටේ මර්මස්ථාන විදේශිය රටකට බද්දට දීමේදී හෝ සංවර්ධන කටයුත්තකට පැවරීමකදී සැලකිලිමත් විය යුතුය.රුසියාව සිරියාවේ පිහිටා ඇති එනම් සිරියාවෙන් බද්දට ගත් ටාටුස් වරාය රැකගැනීමට ඒකාධිපති පාලක බෂීර් අල් අසාද්ට සහාය දීම හේතුවෙන් අද සිරියාවට උදාවී ඇති තත්වය ඊට හොඳම උදාහරණය සපයයි.